Oct 6, 2013

ඉංග්‍රීසි පාඩම ගියපු දුර...

ක්‍රිස්.....ක්‍රිස්..... ආයුබෝවන් ....,මම හැමදාම කියනවා පුටුව උස්සල තියන්න කියලා.ආයුබෝවන්..
ඉස්කෝලේ පීරියඩ් එකක් ඉවරයි.’හපෝ ඇති ය යන්තන්’කියන්න වගේ මිස් එලියට බැහැල ගියා යන්න.
‘මොනවද බන් ඊළඟට?’
‘කොකා ඉන්නේ බන්’
‘යමන් ගස් කොඩියක් දාන්න,ඊයේ විදියටම පිල් බෙදමු.’
‘වෙලේ කොල්ල නෑ බන්.අපිට අවාසියි’
‘හා එහෙනම් උබල ගොනා ගනින්’
වෙලේ කොල්ලාට සම කිරීමට සුදුසු දක්ෂතාවක් තිබුනේ අපේ ගොනාට පමණි.දෙන්නාම දුවන්න ගත්තම ෂෙඩ් එකෙන් තෙල් ගහපු හරක් වගේ.
හා ඇති නේ...
ඔන්න ඔහොමයි ඉස්සර මම හිටිය ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එකට වෙන්නේ.හැමදාම වගේ කට්.ගස්කොඩි දානවා,ක්‍රිකට් ගහන කාලෙට ක්‍රිකට්.උදේට කිරි කොක්කු වගේ ගිහින් හවසට බලු කුක්කෝ වගේ ගෙදර එනවා.පාරේ එන්නත් පන නෑ.
අපිට ඉංග්‍රීසි උගන්නන්න හිටියේ එක මිස් කෙනෙක් හයේ ඉඳල දහයට යනකන්ම.මම කවදාවත් දන්නේ නෑ ඇයි ඒ මිස්ට කොකා කියල අපි කියන්නේ කියල.තවම යාලුවෙක්ගෙන් ඒ ගැන අහලත් නෑ.අහන්න ඕන කලුවගෙන්.......

ගුගල් එකෙන් හම්බුනා ඔන්න...මේ කහපාටට ඉන්නේ..

මම හිතෙන හිතන් ඉන්න විදියට කොකා කියන්නේ ඒ මිස් සායි බාබ වගේ ඔලුව වටේටම කොන්ඩේ.එකෙන් මතක් වෙන්නේ මට අර ඉස්සර රුපවාහිනියේ ගියපු පොඩි අයට ඉංග්‍රීසි එහෙම උගන්නපු වැඩසටහනක හිටිය කොකෙක්.මොකද්ද මන්ද එකේ නම සේසමිස් ට්‍රි වගේ මොකද්ද එකක්.
මතකයි මම 8,9,10,11 වසර වලදී පන්තියේ අනිත් උන් පහුකරගෙන උඩට ආවා.මම පොඩිකාලේ මහම අමු මැට්ටෙක්.ඉස්සර මොන්ටිසොරියේදී මට අකුරු අඳුරගන්න ලියන්න බෑ. ඉස්කෝලෙට එක කොටත් එහෙමයි..යන්තන් 1 වසරේ හිටිය පද්මිණි මිස්,චන්ද්‍රා මිස් ල තමා අකුරු ටික ඉගැන්නුවේ.3,4,වසර වල හිටිය නන්ද මිස්.මිස් තමයි කලින් කපපු හැඩතල පොලිෂ් කරලා ගත්තේ.අද නම් ගොඩක් වයසයි මිස්ට.
හතර වසරේදී මහා එපාකරපු මිස් කෙනෙක් හිටියේ.පහ වසරේදී හිටිය මිස් අනේ වාසනාවන්...මුකුත් කියන්නේ නෑ.ඒත් හොඳට ඉගැන්නුවා.පීඩනයක් නැති නිසා හොඳට ඔලුවට ගියා කියපු දේවල්...ඔව් තරමක් ඔලුවට ගියා...ඔන්න ශිෂ්‍යත්වේ..අම්මල නම් මට මොනවත් කිව්වේ නෑ කවදාවත්.එත්,අර 1 වසර වලදී පද්මිණි මිස්ට කියලා මටයි මගේ යාලුවටයි(කළුවා) හවස් වෙනකන් පන්ති කරා.අපිට 12.30ට ඉවරනේ..අපේ අනිත් උන් යනවා.අපේ තාත්තයි කලුවගේ (උට කළුවා කියන්නේ A/L වල ඉඳන්,පුදුමයි උට විතරයි කාඩ් එකක් තිබ්බේ නැත්තේ.මොකද ,ඌනේ හැමෝටම කාඩ් දාන්නේ.) තාත්තයි මිස්ලට කියලා තමයි හවස පන්ති කරේ.අද කාලේ එහෙම පැයක් දෙකක් ළමයි දෙන්නෙක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිස්ල ඉන්නවද මන්ද...
මට තාත්ත ඇනල තියෙන්නේ එකම එක ටොක්කක් විතරයි.පොඩිම කාලේ තාත්තගේ පස්සෙන් යන්න ඕන කියලා අඩලා පොල් කොළ දෙකක් අරන් ගැහුවලු.මතක නෑනේ.. තාත්ත මම ඉස්කෝලේ ඉවරවෙලා පුස් බයිසිකලේ තියන් ආව බැන බැන ..බැන්නේ මොකටද කියලනම් මතක නෑ.මම ඒවා අහන ඉන්නේ නැතුව ඇති එදා.හි හි ..එත් ටොක්ක මතකයි.ඉස් මුදුනට වඩා ටිකක් මෙහාට වෙන්න.වම් පැත්තට වෙන්න..පාරේ තැනත් මතකයි එවෙලේ බයික් එක අපු.අපේ අකිල කරුගේ ගෙවල් ඉස්සරහ.
ආ...ඉතින් ශිෂ්‍යත්වේ...ලිව්වලු.මට පාඩම් කරපන් කියල බල කරේ නම් නෑ කවුරුවත්.128 ක් ආවලු රිසල්ට් එක.ෆේල් ලු.131 න් ලු පාස් කරේ.
ඔන්න ඉතිං හයේ ඉඳලම ඒ ඉස්කෝලේ තමයි.O/L පාස් වෙනකන්.
හය හත වසර වලදී මට කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඉස්කෝලේ වැඩ ගැන.විද්‍යාවට ටිකක් ආසයි.ඒත් උගන්නපු මිස්ට අස නෑ.මහ එපා වෙනවා.හයේ ඉඳල 11 ට වෙනකන්ම ඒ මිස්.ඒ දවස් වල ආසාව තිබ්බේ සකිට් කෑලි හදන්න.ඉස්කෝලේ ඇරුනම තව එකෙක් එක්ක යනවා කිලෝමීටර් 4ක් විතර එහා ඉලෙක්ට්‍රොනික් කඩේට.අනන් මමන් ගේනවා.පොත් තිබුනා ඒවායේ සකිට් හැදුවේ.බල්බ් දෙකේ එක,නයිට් රයිඩර් ඒවා.LDR සකිට්,......කෑලි අරන් වෙනද එන පාරෙන් එන්නේ නෑ.රබර් වත්තක් මැදින් එන්නේ.ගස් වල ඔට්ටපාළු ගලව ගලවා.මම එහෙම කරන එකේ වැරද්දක් දන්නේ නෑ.ඒත් මයේත් එක්ක හිටිය එකා ඔට්ටපාළු ගලවන එක වැරදියි කියල දන්නා බව මම දැනගත්තේ වත්තේ මුරකාරයෙක් දවසක් අපිව අල්ලන්න එළවන් අපු දවසේ.එදා ඒ මිනිහා කෑගහපු ගමන් අපි මයේ යාලුවා දුවපන්..වත්තේ අයිතිකාරයා බන් කිව්වා..හේතු ඇහුවේ දුවල ඉවර උනාම.
අම්ම තමයි ඕවට හැමදාම මගේ සකිට් හැදිල්ලට උදැල්ල දැම්මේ.තාත්තත් සමහරදාට බනිනවා.අට,නමය වසර වලදී මට කොහෙන්ද මන්ද අමුතු ගැම්මක් අවා ඉගෙනගන්න.ඒ ගැම්ම තිබ්බා O/L ඉවරවෙනකන් වගේ..
අටේදී තමයි මම මුලින්ම ටියුෂන් පන්තියකට ගියේ.සතරේ...ඒත් මුලින්ම ගියේ ඉස්කෝලේ උගන්නන්නේත් නැති ඉලෙක්ට්‍රොනික් වලට.හි හි ..මාසෙට 100 යි..පොඩි පොඩි දේවල් ඉගෙනගත්තේ.මම ඒවා කලින් පොත් වලින් ඉගෙනගෙන තිබ්බා හොඳට.ඒත් අසාවට ගියා.යාළුවො හිටිය.පෙත්තයි,මියයි....මිය අපේ ඉස්කෝලේ නෙමේ.ඒත් මම ඌ පොඩි කාලේ ඉඳල දන්නවා.අපේ ගමේ.ඌ වැඩ්ඩ.උගේ ඔක්කොම බැලන්ස්.මම වගේ නෙමේ.දැන් කැලණියේ මැනේජ්මන්ට් කරනවා.
ඊට පස්සේ ශක්ති එකේ විද්‍යාවට...ඒ සර් වෙන්න ඕන අර අමුතු ගැම්මට එක හේතුවක්.ඒ සර්ගෙන් ඉගෙනගෙන ගැම්ම ගත්ත අය අද ඉන්නවා.කරාපිටියේ ඉස්පිරිතාලේ ඉස්සරහ මෙඩිකල් ෆැකල්ටියේ.මම ඉතින් බිල්ඩින් එක දිහා බලන් ටෙක් යනවා.
ශක්ති එකේම මම ගණන් පන්තියකටත් ගියා.ඒ සර්ගේ දෙපැත්තේ නල දත් දෙකක් තිබ්බා.මමයි මගේ අපත යාළුවයි යනවා සර් ලඟම ඉස්සරහම පේලියට.මම හදන ගණන් බලන් උත හදනවා.මම තමයි ඌ ඉස්සරහට අරන් ගියේ.
අන්තිමට වෙන්නේ අර දත් දෙක දිහා බලන් සද්ද නැතුව කඳුළු එනකන් හිනාවෙන එක...තවමත් මතකයි කට ඇරලා හිනාවෙන කොට පේන දත් දෙක.ඔන්න සර් අපිට ගානක් දීලා මෙසේ උඩ වාදී වෙනවා.පටන්ගන්නවා නයි ගේම ගහන්න පොන් එකෙන්.
සර් ජොලි කතා කියනවා..ඔන්න ඉතින් කතාව අහන් ඉන්නගමන් ළඟ ඉන්නේකාගේ පොතේ පිටු දෙක තුනක් ඉස්සරහට පෙරලනවා.හයියෝ ඌ කතාවට පස්සේ ගාන ලියන්නේ කොළ දෙක තුනක් ඇත ඇරලා.අර යකා මගේ මුණ දිහා බලනවා.මට හිනා.අරුටත් හිනා.පොත අයිතිකාරයා මොකෝ බන් අහනවා දන්නා එකෙක් නම්..නැත්නම අමුතු බැල්මක් දානවා..අපි බොරුවට මාරයි බන් ඒක කියලා අපහු හිනා වෙනවා.
එහෙම තමයි ඒ ගණන් පන්තිය.අවුරුදු දෙකක් ගියා.ඒ නිසා මම සතරේ ගණන් පන්තියට ගියා.කලින් යන්න හිතුනේ නැත්තේ ඒ සර්ගෙන් ගුටිකන්න වෙන නිසා.ගණන් කිව්වොත් ප්‍රේමලාල් සර් තමයි.එහෙමයි හැමෝම කිව්වේ.(දහයේදී)
තාත්ත එක්ක ගිහින් ඔන්න පන්තියට භාර දුන්නා මම.හපෝ ඒක මහා කුකුල් කොටුවක් වගේ..වාසනාවට සුනාමිය ආවා...කුකුල් කොටුවට නෙමේ.ලංකාවට.ඉතිං සර් පන්තිය කරපු ගෙදර ටවුන් එකේ ඒ ගෙවල් අයිති අයට දෙන්න උනා.අන්තිමට පන්තිය වෙන තැනකට ගෙනිච්චා.එතන අච්චර අමාරුවක් නෑ.
කොහොමහරි පන්තියේ නම් මාර නීති.හුස්ම ගත්තෙත් බයෙන්.සද්දේ ඇහෙවිද කියලා.හි හි හැමෝම එහෙමයි ...න නෑ ගොඩක් අය එහෙමයි...පන්තියේ බ්‍රයිට් පොරවල්..පොරවියල් එහෙම නැතුව ඇති කියලා මට පස්සේ තේරුනේ..මමත් එල කිරි වගේ පොරක් උනා මාස කීපයකින්.පන්ති නාවොත් ඊළඟ දවසේ අනිවා පිට පහත් කරලා ඩොන්...ගාල එකක් වදිනවා වැලමිටෙන්.මොන බ්‍රයිටත් එහෙමයි.කෙල්ලොන්ට විතරයි එහෙම නතුව පොඩි තට්ටුවක් දාන්නේ.පස්සේ වැලමිටෙන් අනින එක නැවතුනා.අත දිග ඇරලා කිස්කන්න පාරක් දුන්නා පහු කාලේදී(11 දී,අපි හොඳ නිසා වෙන්නැති) ඒක අනිත් අය බය කරන්න කරන්නේ කියන එක හැමෝම දන්නවා උනත් එහෙම පන්තිය මැද නැගිටලා ගුටිකන්න හැමෝම ලජ්ජා නිසා හැමෝම වගේ පන්ති ආවා.
ලියුමක් ගෙනියන්න ඕන අනිවා පන්ති නාවොත්.ඉතින් 11 දී මගේ සර්ට තිබ්බ බය අඩු උනා ගොඩක්.මම ඉස්කෝලේ ගණන් වලට වැඩිම...පළවෙනියා හෝ දෙවනියා නිසා සර් මම ගැන වැඩිය හිතුවේ නෑ කියල මම හිතනවා.ඉතින් අනිත් උන් බය නිසා මම ලියුම් ලියනවා අවේ නැති උන්ට.තාත්තගේ නම අහල අත්සනත් ගහලම තමයි දුන්නේ.
කොච්චර ලියුම් ගෙනිච්චත් ගුටියක් කන්නම වෙනවා,නෝන්ඩි වෙන්නම වෙනවා.ඒ නිසා හැමෝම පන්ති ආවා.
මම 11 දී කොමස් කරා.අපි පන්ති ගියා.මොකද අපිට ඒක ඉගැන්නුවේ අපේ ඉස්කෝලේ වයිස් පින්සිපල්.ජයේ...ජයේ හැමදාම වගේ එන්නේ නෑ..වැඩනේ ඉතින්.
මමයි නිකටයි පෙත්තයි මියයි තමයි පන්ති ගියේ.අපි හතර දෙනා තමයි තාමත් කොල්ලෝ සෙට් උනාම නාන්න යන මඩ වල හොයාගත්තේ.
අපි නාන්න ගියා විතරයි මෙන්න හැම එකාම එතනට අවා..අන්තිමට ප්‍රේමලාල් සර්ගේ කනට ගියා ඕක.දවසක් පන්ති ඉවරවෙලා නාන්න ගියා.ඔක්කොම ගලවලා කොල්ලෝ නානවා දැන්...මෙන්න යකෝ සර් ඇවිත් බලන් ඉන්නවා..කෙලිය තාපෙටම...
අහු උනේ දෙන්නයි.නිකට වැඩකාරයා.ඌ සර් යනකන් වතුර යට ඉඳල තියෙන්නේ..සමහර උන් දුවලා..හි හි...මම දැක්ක වගේ කිව්වට මම ඔය දවසේ ගියේ නෑ.
අහු උනේ පෙත්තයි,කලුවයි ඊළඟ පන්ති දවසේ උන් දෙන්නට පන්තිය ඉස්සරහ බැන්න විදිය..හයිඌ... ‘මේ ගං මජරයෝ දෙන්න...මඩවලේ ලැගලා ඉන්නවා අතටම අහු උනා’...අපි සද්ද නැතුව හිනා...අන්තිමට උන් දෙන්නට එක අතකට 5 ගානේ වේවැල් පාරවල් ... හිනාව ඉවරයි...පන්තියේ වැඩ..
එදා ජ්‍යාමිතිය..මගේ ළඟ හිටියේ මියා..මම දෙතුන් පාරක්ම දැක්ක ඌ කවකට්ටෙන් රව්මක් ගහන්න දඟලන දැඟලිල්ල.මැදින් අල්ලාගෙන අනිත් අතෙන් කරකවනවා.මම උගේ කවකට්ට අතට අරන්, ‘ඔහොම නෙමේ බන් මෙහෙම හරියට කේන්ද්‍රය ළඟ තියලා තද කරපන්..පනින්නේ නෑ..පොතට රිදෙන්නේ නෑ යකෝ..’ .ඉවරයි..චටාස්...මගේ ඇස් නිලංකාර උනා.. ‘උබ කැමති නැද්ද යකෝ මේ මිනිහ ඉගෙනගන්නවට?’පට්ට..සර් ඇවිත් කම්මුල් පාරක් දීලා මට... ‘නැගිටලා හිටපන්...පාප මිත්‍රය..අනිත් එකා ඉගෙන ගන්නවට කැමති නෑ’ ...මට ඔය කතාව මතකයි තවම..මම ඌට කියල දෙන්න හැදුවේ.වඳින්න ගිය දේවාලේ ඉහට කඩන වැටුනා වගේ..මම ‘නෑ..සර්..මම කියලදෙන්න හැදුවේ’ කියල කිව්වනම් අනිවා අත හිල් වෙන්න වේවැල් පාරවල්...මම සද්ද නැතුව හිටියා නැගිටලා පන්තිය ඉවර වෙනකන්..ආණ්ඩුව වගේ දැන්...

***************

ඉංග්‍රීසි පාඩමක් ලියන්න හැදුවේ පොඩ්ඩක් කියවලා..ඒත් කියවිල්ල වැඩි උනා..ඉංග්‍රීසි පාඩම පස්සේ කරමු...දැන් ලියල අත රිදෙනවා..ආ නෑ ටයිප් කරලා..

ප.ලි.
අද ලෝක ගුරු දිනෙලු.හයිඕ..මේ ටික නියමයි නේ ගුරු දිනේට.නියම දවසේ ලියවුනේ..
අපි මිස්ල සර්ලට කාඩ් දාල තිබ්බට ආදරේ නැතුව නෙමේ.මම මෙහෙම ඉන්නේ ඒ අය නිසා.තවමත් මම වැඩියෙන්ම ආදරේ මට 1,2,3 වසර වලදී උගන්නපු ගුරුවරුන්ට.ඒ මිස්ල හිටියේ නැත්නම් මම මිට වඩා මහා මෝඩයෙක් වෙනවා සිකුරුයි.

0 ප්‍රතිචාර:

Post a Comment